Heritage - උරුමය - සීගිරිය ගැන

සීගිරිය

කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත.


අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.
මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.
සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතියි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි.
ප‍්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප‍්‍රචලිතය.
අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි‍්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ.
සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී‍්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි‍්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි.



සීගිරිය ප‍්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත‍්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී‍්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත.
පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තතතුර‍ට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.
සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක‍්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී පෙන්වයි.
ක‍්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ජේ.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.බෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය.
පැරණි ශී‍්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.
සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප‍්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිබෙන්නට ඇත. එම ප‍්‍රදේශය විශාල ප‍්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති.
18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලූ ලූ අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.


දළදා පෙරහැර

මහනුවර දළදා පෙරහැර ආගමත් කලාවත් දේශපාලන බලයත් මනා ව සංයෝග කරන මහෝත්සවයකි. පළමුව, එය ශ්‍රී ලාංකික බෞද්ධයන් බුදුන් වහන්සේටත්, දළදා වහන්සේටත්, දෙවි දේවතාවන්ටත් දක්වන අප්‍රමාණ ගෞරවයත් ශ්‍රද්ධාවත් භක්තියත් හෙළි කරයි.
දෙවනුව, එය පාරම්පරික කලාකරුවන්ගේ කලා කුසලතා උත්කර්ෂවත් ආකාරයෙන් පෙන්නුම් කරයි. කාලාන්තරයක් තිස්සේ උඩරට පෙදෙසේ ගුරුකුල වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආ නැටුම් ගැයුම්, වැයුම් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. රජ දවස කලාකරුවන්ට මේ සඳහා කුලී නොගෙවිණ, ඉඩකඩම් ලැබිණි.
තෙවනුව, එය රජතුමා සතු දේශපාලන බල මහිමය ජනතාව හමුවේ පෙන්නුම් කරයි. රජතුමාගේ රාජධානියට අයත් විවිධ කොට්ඨාස පාලනය කරන දිසාවේවරු හා නිලමේවරු මෙදාට මහනුවරට ඇවිත් පෙරහැරේ ගමන් කරමින් සිය රාජ පාක්‍ෂිකභාවය දක්වති. ඒ ඒ පළාත්වල කොඩි මෙහි දී ප්‍රදර්ශනය කෙරේ.
සිව්වනුව, එය වැස්ස අනුකරණය කරයි. වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කළ යුතු යැයි පැරැන්නෝ සිතූහ. වැස්ස වහින්නට කලින් එන අකුණු ගැසීම්, විදුලිය කෙටීම්, වැහි වළාකුළු ආදිය මේ පෙරහැරේ දක්නට ලැබේ. මේ පෙරහැර අවසන් වන්නේ වැසි පොද වැටෙන පරිදි දිය කැපීමේ මංගල්‍යයකිනි.

නිහාල් සඟබෝ ඩයස්ගේ සිතුවමකි  member of Art society Ceylon

දළදා පෙරහැර දවස් දහයක් තුළ පැවැත්වේ. මුල් දවස් පහේ පවත්වන පෙරහැර ‘කුඹල් පෙරහැර’ නම් වේ. මීට කුඹල් පෙරහැර යැයි කියන්නේ ඇයි? මේ පෙරහැර යන්නේ දේවාල වටා පමණක් බැවින් එය කුඹලා නමැති සතා සිය හුඹස වටා යන ගමනට සමාන යැයි සිතා ඒ නම යෙදුණා විය හැකි ය.
ඉන් පසුව එන්නේ ‘රන්දෝළි පෙරහැර’යි. ‘රන්දෝළි’ යනු දේවාලවලට අයත් දෝළා යි. ඒ ඒ දේවාලවලට අයත් රන් කෙණ්ඩිත් රන් කඩුත් මේවායෙහි ගෙන යනු ලැබේ. ‘රන් දෝළිය’ යන්නෙන් රජුගේ අග බිසොවත් හැඟවුණු නිසා එදා මේ දෝළා සමඟ රජ කුමරියන් ද වෙනත් ආර්යාවන් ද ගිය බවක් ද කියවේ.
පෙරහැර වර්ෂාව අනුකරණය කරන නිසා එහි මුලින් ම එන්නේ හෙණ හඬ සංකේතවත් කරන කසකාරයා යි.අනතුරුව එන පන්දම්කාරයන්ගේ කොප්පරා පන්දම් වලින් නිකුත් වන්නේ වරින් වර අඩු වැඩි වෙමින් විහිදෙන විදුලියට සමාන එළියකි. අඳුරු පැහැයෙන් යුක්ත අලි ඇත්තු වැසි වළාකුළු වැන්න.

වැසි වළාකුළු වැනි ඇත්තු

අකුණු හඬටත් විදුලිය කෙටීමටත් පසුව එන්නේ වැසි වළාකුළු යි. අඳුරු පැහැති වළාකුළු හෙමින් සීරුවේ අහස පුරා පැතිර යයි. පෙරහැරේ හෙමින් සීරුවේ ගමන් කරන ඇත්තු ද වැසි වළාකුළු වැන්න. වැසි වලාවන් වැඩි වන තරමට වැස්ස සරු ය. අලි ඇතුන් වැඩි වන තරමට පෙරහැරේ අසිරියත් වැඩි වේ.
මේ අලි ඇතුන් අතුරින් මහේශාක්‍ය හස්තියා සේ සැලකෙන්නේ දළදා කරඬුව හෙවත් ‘රන් හිලිගේ’ ගෙන යන ඇතායි. තිරිසන් සතෙකු වූවත් තමා කෙරෙහි පැවරී ඇති වගකීම තේරුම් ගත්තාක් සේ මාලිගාවේ ඇතා ද මහත් අභිමානයෙන් සුදු පාවාඩ මතින් උඩු වියන් යටින් ගමන් කරයි.
මාලිගාවේ ඇතාට අමතර ව තවත් ඇත්තු සතර දෙනෙක් දේවාභරණ සහිත කරඬු වඩම්වා ගෙන පෙරහැරේ යති. ඒ සතර දේවාලවලට අයත් ඇත්තු ය. කරඬුවක් ගෙන යන ඇතෙකු දෙපසින් තවත් ඇත්තු දෙදෙනෙක් ගමන් කරති. ඒ ඇතුන් පිට සිටින්නෝ කරඬුවට පවන් සලමින් යති.
තවත් සමහර ඇතුන් පිට යන්නේ පෙරහැර හා සම්බන්ධ විශේෂ වැඩ කටයුතු භාර නිලමෙලා ය. පෙරහැරේ මුලින් ම යන්නේ ‘පෙරමුණේ රාලයි’ ඔහුගේ දෑතේ පුස් කොළ පොතකි. එය ‘ලේකම් මිටිය’ නමින් හැඳින්වේ. දළදා මාලිගාවේ රාජකාරි ගැන විස්තරත් පෙරහැර කළ යුතු ආකාරය ගැන විස්තරත් එහි ලියා තිබේ.
දෙවනුව යන්නේ ‘ගජ නායක නිලමේ’ රැගත් ඇතා යි. ‘ගජ’ යනු ඇතාට කියන තවත් නමකි. රජ වාසල ඇතුන් භාර ව සිටින මේ නිලධාරියා පෙරහැරේ යන්නේ දෑතින් ගත් අංකුසයක් හෙවත් හෙණ්ඩුවක් ඇතිවය. අලි ඇතුන් හසුරුවන්නේ හෙණ්ඩුවේ ආධාරයෙනි.
ඇත්තු ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසවනු ලැබෙති. හීලෑ කරන ලද අලි ඇතුන් හැඳින්වීමට නම් ද ඇත. සෑහෙන කාලයක් තිස්සේ දළදා කරඬුව ගෙන ගිය ‘රාජා’ නමැති ඇතාගේ මළ සිරුර දැන් මහජන ප්‍රදර්ශනය සඳහා මාලිගාවට යාබද වෙන ම කුටියක තබා ඇත.

                                        photograph of sandaruwan Liyanage 2011 perahara

පෙරහැර සමය

ඇසළ මහේ දී පෙරහැර සමය ආරම්භ වන්නේ සුබ නැකත් බලා ය. ඒ ඒ දවස් වලට පෙරහැර ආරම්භ වන්නේ ද සුබ මොහොතකිනි. මේ සුබ නැකත් වේලාවන් දළදා මාලිගාවට දන්වා සිටින්නේ ‘නැකත් මොහොට්ටාලා’ නම් නිලධාරියෙකු විසිනි. මොහු රජතුමා විසින් ම පත් කරනු ලැබූවෙකි.
පෙරහැර සමය ආරම්භ වන්නේ ‘කප් හිටවීම’ නම් චාම් උත්සවයකිනි. ‘කප්’ යනු සියලු සම්පත් ලබා දෙන දිව්‍ය වෘක්‍ෂයක් වන ‘කල්ප වෘක්‍ෂය’ හෙවත් ‘කප් රුක’ සංකේතවත් කරන්නකි. පෙරහැර හොඳින් පවත්වා ගන්නට දෙවි දේවතාවන්ගේ පිහිට ලබා ගැනීමට භාරහාර වීම කප් හිටවීමේ අරමුණයි.
මෙය කරන්නේ ඇසළ මස අමාවක පෝය දා එළඹෙන සුබ නැකතකට ය. එදාට සතර දේවාලයේ කපු මහත්වරු කිරි ගසක් වන කොස් ගසක් වෙතට ගොස් ඒ වටා පහන් දල්වා සුවඳ දුම් අල්ලා එහි අත්තක් කපන්නට සූදානම් වෙති. ඒ අත්ත කැපීමේ වගකීම පැවරෙන්නේ විෂ්ණු දේවාලයේ කපු මහතාට යි. මේ කපු මහතා ඉස් සෝදා නහා සුදු වතින් සැරසී හොඳට මේරූ කොස් අත්තක් සතරට කපා දේවාල සතරට භාර දෙයි. කපු මහත්වරු ඒ කොටස් තම තමන්ගේ දේවාලවලට හේවිසි හඬ මැද්දේ ගෙන ගොස් සිටුවති. කප් රුක සියලු සිතුම් පැතුම් ලබා දේ. මේ සිටු වන කපෙන් ද සියල්ල ඉටු වනු ඇත.
පෙරහැර සමය අවසාන වන්නේත් එක්තරා සාම්ප්‍රදායික මංගල්ලයකිනි. එය හැඳින්වෙන්නේ ‘වලි යක් මංගල්ලෙ’ හෝ ‘වලි යක් නැටුම’ යන නමිනි. මෙය පැවැත්වෙන්නේ විෂ්ණු දේවාල භූමියෙහි ය. එය සතියක් මුළුල්ලේ පැවැත්වේ. පෙරහැරේ ගිය නිලමෙලා ඇතුළු හැම දෙන ම මීට සහභාගි වෙති.
පෙරහැර පැවැත්වීමේ දී යම් කිසි අත්වැරැද්දක් නිසා දෙව් දේවතාවන්ගේ සිත් රිදුණේ නම් ඊට සමාව ගැනීම ද ඇස්වහ කටවහ ආදී වස් දොස් ආදිය ඇතිවිණි නම් ඒවා දුරු කර ගැනීම ද මේ මංගල්ලේ අරමුණයි. වලි යක් මංගල්ලෙ අවසන් වනවාත් සමඟම ඇසළ මහේ පෙරහැර සමය ද නිමාවට පත් වේ.

දිය කැපීමේ මංගල්ලය

රන්දෝළි පෙරහැර දවස් පහක් පැවැත්වේ. මහ පෙරහැර පැවැත්වෙන අවසාන රාත්‍රිය මහනුවර ඇසළ පෙරහැරේ අලංකාරවත් ම රාත්‍රියයි. දළදා කරඬුව පසු දා පහන් වන තෙක් අස්ගිරි විහාරබද ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කෙරේ. පසු දා උදේ තුනට පමණ සතර දේවාලවල කපු මහත්වරු පේරාදෙණිය අසල ගැටඹේ තොට බලා පෙරහැරින් පිටත් වෙති. අරුණලු නැඟෙද්දී ගැටඹේ තොටට එන ඔවුහු කලින් අවුරුද්දේ මෙහි දී පුරවා ගත් දිය සහිත රන් කෙණ්ඩි හා රන් කඩු ගෙන සුදු කඩතුරාවකින් වැසූ පාරුවකින් ගඟ මැදට යති.
ඔවුහු කඩතුරාවට මුවා වී කෙණ්ඩිවල දිය හිස් කරන අතරතුර ම ඒවා නැවත පුරවා ගනිති. එසේ පුරවා ගන්නා විට ඒ දිය රන් කඩුවකින් කැපීම සිරිතකි. එබැවින් මේ සිරිත ‘දිය කපනවා’ යනුවෙන් හැඳීන්වේ. දිය පුරවා ගැනීමට ‘දිය කපනවා’ යැයි කියන්නේ ඇයි? කපන්නේ ඝන ද්‍රව්‍යයක් මිස දියරක් නොවේ. වැස්ස නොවසින්නේ අහසේ එක් රැස් වී ඇති ජලය එක ම දිය කඳක් සේ ඝන ව ඇති හෙයිනැයි පැරැන්නෝ සිතූහ. එසේ නම් වැසි පොද වැටෙන්නට සලස්වා ගත හැක්කේ මේ දිය කඳ කැපීමෙනි. එහෙත් මේ දිය කඳ කැපීමට අහසට යෑමට කිසිවෙකුට නුපුළුවන.
අපට කළ හැක්කේ අපට යා හැකි තැනක දී දිය කැපීම අනුකරණය කිරීම යි. මහවැලි ගඟට බැස රන් කඩුවෙන් දිය කැපීමෙන් අනුකරණය කෙරෙන්නේ වැසි පොද ලබා ගැනීමට දිය කඳක් කැපීමයි. දිය කපන මොහොතේ දී නිසැක ව ම වැසි පොද වැටෙන බව බෞද්ධයෝ තරයේ විශ්වාස කරති.
මල් වැසි මෙන් වැටෙන මේ වැසි පොද මහා ධාරානිපාත වර්ෂාවක පෙර නිමිත්තක් පමණකි. 1826 දී ඉංගී‍්‍රසි ආණ්ඩුව දළදා පෙරහැර නැවැත්වූයෙන් තුන් අවුරුද්දක් ම වැසි නොවැටිණ. කෙත් වතු පාළු විණ. වැස්ස නැත්තේ පෙරහැර නැති නිසා යැයි උඩරැටියෝ එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරයාට පැමිණිලි කළහ.ආණ්ඩුකාරයා අකමැත්තෙන් වුවත් පෙරහර පැවැත්වීමට ඉඩ දුන්නේ ය. එවර දිය කපන දා වැටුණු වැස්ස කෙළවර වූයේ මහා ගංවතුරකිනි. එය ‘දළදා වතුර’ යන නමින් බෞද්ධයෝ හැඳින්වූහ. එවක ලියවුණු ‘දළදා වතුර’ නම් ජන කාව්‍යයක් රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇත. පැන් පුරවා ගත් රන් කෙණ්ඩි රැගත් දේවාල පෙරහරට දළදා පෙරහැර ද එක් වීමෙන් පසුව ‘දවල් පෙරහැරක්’ සැදේ. ඒ ඒ පෙරහැරවල් මාලිගාවටත් දේවාලවලටත් ගෙවදිත්ම මහනුවර පැවැත්වෙන ඇසළ පෙරහැර නිමාවට පත් වේ. පෙරහැර නිමා වෙත්ම වැසි කාලය ආරම්භ වේ.
දිය කපන දා වැටෙන වැස්සත් සමඟ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ‘වස්සාන කාලය’ ද ඇරඹෙයි. උන්වහන්සේලා තුන් මසක් ම පන්සල් වල රැඳෙමින් වස් වසති.’අයං වස්සාන කාලෝ’ (මේ වැසි කාලයයි) යැයි කියමින් වැසි කල් උදා වුණු බව කියන්නට බෞද්ධයන්ට පුළුවන් වන්නේ ඇසළ පෝයට පෙරහැර පවත්වා වැස්ස වස්සා ගන්නට පුළුවන් වන නිසා ය.

පෙරහැර නිමා වූ වගයි

දවල් පෙරහැර නිමා වූ වහා ම ඒ බව රජතුමාට වාර්තා කිරීම පැරණි සිරිත විය. එහෙත් අද රජෙකු නැති බැවින් ඒ බව දැන් වාර්තා කරනු ලබන්නේ රටේ දේශපාලන නායකයා වන ජනාධිපතිතුමාට ය. මේ සඳහා ජනාධිපතිතුමා නොවරදවා ම මහනුවර පිහිටි රජ ගෙදරට පැමිණෙයි. එතැනට එන දියවඩන නිලමේතුමාත් දේවාලවල බස්නායකවරුත් පෙරහැර හොඳින් පැවැත් වූ බව ජනාධිපතිතුමාට දන්වා සිටිති.
සියලු බෞද්ධයන්ගේ ප්‍රාර්ථනය මෙසේ ය.
“දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ”
“කලට වැසී වසී වා
කෙත් වතු සාර වේ වා
ලොව සතුටු වේ වා
නිරිඳු සැම කල් දැහැමි වේ වා”
‘දේවෝ වස්සතු කාලේන’ යන පැතුමෙහි එන ‘දේවෝ’ යන පාලි පදයෙහි අර්ථ දෙකකි. එකක් ‘දෙවියන්’ යන්නයි.
‘දෙවියනි, කලට වැසි වස්සන්න’
දෙවෙනි තේරුම ‘වැසි වලාව‘ යන්නයි.
‘වැසි වලාවනි, කලට වැසි වස්සන්න’
ගොවිතැනින් ජීවත් වන ජනතාවකට වැසි වලාවට වැඩි දෙවියෙක් කොයින්ද?
(දළදා පෙරහර කෘතියෙනි.)

No comments:

Post a Comment