03 May 2014

පරගොඩ විහාරය - Paragoda Temple

ගම්පෙරලිය පළමු කෘතිය- 1944

 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය.
නාමල් සුවඳ තාමත් මගේ නැහැපුඬු ළඟය.

සුළඟේ පාවී ආ නාමල් පියල්ලක් නන්දාගේ ඔඩොක්කුවට වැටිණි. අනුලා එය ඩැහැ ගත්තාය.
බරට බර ගෙජ්ජි මාලයක් කරේ පැලඳගෙන සිටි සුදු පාට ගොන් දෙන්නා අං සොලවමින් හිස ගස්සන්නට වූහ.
උන්ගේ ගැස්සිල්ලට ඩික්කි කරත්තය සෙලවිණි.
මාතර හාමිනේ තලාඳය අල්ලා ගත්තේ කරත්තෙන් බිමට වැටේදෝයි බියෙනි.
"බහින්න.... බහින්න... නාමල් පූජාව පටන් අරගෙනත් ඇති..."
පියල්ගේ අම්මා කීවාය.


පියල්, බලදාස සහ තිස්සත් හිටියේ නා අරණේ සෙවණට වන්නටය. නන්දා නාමලින් බර වුණ පැසක් රැගෙන ගොස් ඔවුන් අතරට එක් වූවාය.
ගැල පරගොඩ විහාරයට ළඟා වූයේ අටට පමණය. තරු මෙන් බබළන නාමලින් නික්මෙන මිහිරි සුවඳ නිසා මාතර හාමිනේගේත්, පියල්ගේ මවගේත් නාමල් පිදීමේ ආසාව වැඩි විය.
නන්දාත් අනුලාත් ඉස්සර කරගත් අම්මලා දෙදෙනා තෙල්, මල්, හඳුන්කූරු, කපුරු රැගෙන දූලාගේ පස්සෙන් ගාටන්නට වූහ.


තිස්ස පියල් සහ බලදාස ආවේ ඔවුන්ටත් පස්සේය.
මම ඔවුන්ගේ පස්සෙන් ගෑටුයෙමි.


ගම් පෙරළියේ නන්දලා, අනුලලා, මාතර හාමිනේලා කයිසාරුවත්තේ මුහන්දරම්ලා පරගොඩ රජමහා විහාරය වන්දනාමාන කරන්නට එදා එසේ එන්නට ඇත.මගේ ඥාති  සහෝදරයාගේ නිවස ඉදිරිපිටද නා ගසක් තිබේ එහි නාමල් පුජා කරන්නට ඔහු අපව පරගොඩ එක්කගෙන ගියේය එදා ගම්පෙරළියේ කරත්ත වලින් ගිය ඔවුන් වෙනුවට අද අප  සුඛෝපබෝගී වාහන දෙකකින්  අධි වේගී මාර්ගයේ පැය එකහමාරකින් ඉමදුව පිවිසුමෙන් පරගොඩට ලගාවීමු.

         
 ඓතිහාසික වශයෙන් හා සෞන්දර්යෙන් චිත්‍රණය වූ පරගොඩ විහාරයේ  ආගමික අංගයෝ විනාශයට පත් වෙමින් පවතී. මෙම පුද බිම රැක ගැනීම අපගේ වගකීමකි.විහාරස්ථානයේ වැඩවසන විහාරවාසී නායක හිමියන් හා විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික සංස්කෘතික නවෝදයක් සඳහා නිරතුරු කටයුතු සිදුකරලීම පැසසිය යුතු ක්‍රියාන්විතයකි.


දේවානම්පියතිස්ස රජු ශ්‍රී මහා බෝධියේ අංකුර තිස් දෙකක් රටපුරා රෝපණය කිරීමේ සාධු සම්මත මෙහෙවරට පිං සිදුවන්නට පරගොඩ විහාරය ඉදිවූ බව සඳහන් ය. මෙසේ බෝධියේ අංකුර රට පුරා රැගෙන යන අතරතුර පරගොඩ ගම්මානයට පැමිණ ඇති එම පරිස විඩාව සන්සිදුවා ගැනීම සඳහා බෝධි අංකුරය අසල තබා විවේක ගන්නට වූහ. පසුව දා මෙම පිරිස යළිත් ගමන් කිරීමට සුදානම් වන විට දැකිය හැකි වූයේ බෝධි අංකරය මුල් ඇද ඇති බව යි. ඒනිසා එම ස්ථානයේ බෝධි අංකුරය රෝපණය කිරීමට පියවර ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. දුටුගැමුණු රජුගේ සහායට පැමිණි ඉන්දියානු භට සේනාවක් මෙම ගමෙහි ජීවත් වූ නිසා පරදේසක්කාරයන් ජීවත් වූ ප්‍රදේශය පරගොඩ වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. තව තවත් විවිධ වූ ජනප්‍රවාද රැසක්ද පරගොඩ ගම පිළිබඳව සඳහන් වේ. 

අනුරාධපුර යුගයට අයත් පරගොඩ විහාරයේ පෞරාණික බව කියාපාන සඳකඩපහණක් ද මෙහි දැකිය හැකිය .පැරණි දිය පිහිල්ල සඳකඩ පහණ අදට ද දැකිය හැකි ය. 

නමුත් මේ මෙම විහාර අංගයෝ අදවන විට විනාශයට පත්වෙමින් තිබේ. සිංහල බෝධි වංශයේ ද, නම් පොතෙහි ද සඳහන්ව ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයේ ඇති පිළිම, සිතුවම් ආදියද ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි විශේෂිත නිර්මාණයන් ය. සිවිලිං - චිත්‍ර වලින් නව ග්‍රහයන් මෙන්ම ඡ්‍යොතිෂයට සම්බන්ධ සිද්ධීන් චිත්‍රනය වීමද විශේෂයකි.තවද මා පුදුමයට පත් කරවන සිතුවමක් එහි සිවිලිමේ සිත්තම් කර තිබිණි.ඒ මල් වැලක් ගත් කාන්තා නග්න රූපයකි නමුත් එහි මුහුණේ තිබුනේ බුදුරජාණන් වහන්සේගේ රුවයි පන්සලක විහාරගෙයක කාන්තා නග්න රූප දක්නට නොලැබේ. එහෙත් නිරුවත්  කාන්තාඋඩු කයකින් යුත් මෙවන් රුපයක් ඇන්දේ ඇයිද යන්න මා සිත තුල පැනයක් ඇති කරයි.



දෙවනපෑතිස්ස රජුගේ සෙනෙවියකු විසින් මුලින්ම පරගොඩ විහාරය සකස් කර ඇත්තේ කන්දක් උඩ ගල් කුළක දැවයෙන් බව සඳහන් ය. පසුව දැවෙන් කල විහාරය විනාශ වූ අතර ක්‍රි.ව. 876 දී පරගොඩ විහාරය නැවත සකස් කළ බව කියැවෙ යි.මෙහි නුවර යුගයට අයත් චිත්‍ර මෙන්ම අනුරාධපුර කලාකරුවන්ගේ හැකියාව ද එක්ව චිත්‍රණය වී ඇති ආකාරය දැකිය හැකි ය. පැරණි කුඩා චෛත්‍ය මත කඤ්චක චෛත්‍යය ඉදිකර ඇත. 

ඉපැරැණි දේවාලය අද පවා දේව බැතිමතුනගේ වන්දනීය පූජණීය තත්ත්වයට හේතුවී ඇත.  පරගොඩ විහාරයේ සූවිසි පිළිම වහන්සේලා දැකිය හැකි ය. දේවාලය ද විහාරයේ පිහිටා ඇත්තේ හරි අපූරු ආකාරයට විහාර ගෙය තුළ ය.විහාරයේ අද පවතින චිත්‍ර නුවර සහ අනුරාධපුර යුගයන් නියෝජනය කරයි. ඉපැරණි කුඩා චෛත්‍යය ආවරණය වන පරිදි නවතම චෛත්‍ය වූ කඤ්චක චෛත්‍ය ඉදිකර ඇත. නුවර යුගයේ රජවරුන් පරිත්‍යාග කළ ඉතා වටිනා සළු පිළි පටසිවුරු, මෙම විහාරස්ථානයේ ආරක්‍ෂිතව පවතී. පරගොඩ විහාරස්ථානයේ තවත් විශේෂත්වයක් වනුයේ සුවිසි පිළිම වහන්සේලා දැකිය හැකි වීමය. අප දකින්නේ වෙනත් විහාරස්ථානවල අටවිසි පිළිම වහන්සේලා ය.

නාගස් වන රොදෙන් සුවඳවත් වූ බෝධීන් වහන්සේ මහා අනුහස් ඇතැයි පැවසේ. කිසිදු දිනක කිසිදු මොහොතක අඩුවක් නොමැති පරගොඩ විහාරය බෝධි පූජා සඳහා පැමිණෙන සැදැහැවතුනගේ පිරිස ද ඉතාම ඉහළ ය. මේ ආකාරයේ ඉතා වැදගත් වූ පරගොඩ රජමහා විහාරය විනාශ වෙමින් පවතී. චිත්‍ර, පිළිමවහන්සේලා හා සොල්දර ද විහාරයේ වහලවල් ද දිරා බිත්ති ඉරිතලා ඇති අතර මෙම ඓතිහාසික පරගොඩ විහාරය රැක ගැනීම අනාගත පරපුරට උරුමකරදීම අපේ යුතුකමය. වගකීම ය.

1 comment:

  1. ළඟදී ප්‍රථම වතාවට මේ පන්සලට ගියා. එහි පැරණි බව ඒ අයුරින්ම වගේ තිබීම ගැන සතුටුයි. සංරක්ෂණය කළ යුත්තේ මේ ආකෘතිය තුලම බව පවසමි. ඔබේ blog එක හමු වුනේ ඒ ගැන විස්තර සොයා අන්තර්ජාලය පීරන විට.හොඳ විස්තරයක්. ඓතිහාසික කරුනුත් ඇතුලත් වී නම් වඩාත් අගෙයි.

    ReplyDelete